අඳුරේ පාවෙන්නෝ

“ඔයා කියන්නේ ලංකාව මුහුදට යටවෙලා කියලද?”

නීලා මා දිහා බැලුවේ කනගාටුවෙන්. කතාකළේ සතෙකුට කරුණාව පෙන්වන උපාසිකාවක් වගේ.

“ලලිත් කියන්නේ ලංකාව ඊයෙ රෑ මුහුදට යටවුනා කියලද? නැත්නම් මේ සිතියම අච්චු ගහන්න ඉස්සර දවසේ? හැබැයි මම ගිය අවුරුද්දේ මෙහෙ ආවට පස්සේ? අපි ටිකක් මොලේ පාවිච්චි කළොත් නරකද? මම දැන් දවස් පහකට ඉස්සර ගෙදරට කතා කරා…”

“සොරි! මොලේ තවම වැඩ කරන්නෙ නෑ… නීලා කොයි වෙලාවෙද දැනගත්තේ පාස්පෝට් නැතිවෙලා කියලා? …. අනික මොකද්ද පාස්පෝට් එකේ වැදගත්කම?... සොරි… සොරි… අමතක කරලා දාන්න ඒ ටික… මට පෙනෙන විදිහට ලංකාවේ නම තිබුන ලියකියවිලියි නැතිවෙලා තියෙන්නේ. හරිද?”

“ඒක හොඳටම පැහැදිලියි… මගෙ මෙහෙ ස්ටුඩන්ට් අයි ඩී කාඩ් එක තියෙනවා මගෙ නමින්ම. ක්වීන්ස්ලංත ඩ්රයිවින් ලයිසන් එකත් තියෙනවා. නමුත් පරණ ලංකා අයි ඩී කාඩ්, ලයිසන් වගේ දේ නෑ!”

මම මගේ මුදල් පසුම්බිය සාක්කුවෙන් එලියට ගත්තා. ක්වීන්ස්ලංතෙන් ගත්ත කාඩ් සේරම මගේම මුළු නමින්, ලලිත්කුමාර මීගස්තැන්න හැටියට තිබුනා, උපන් දිනෙත් එක්ක. මම නීලා දිහා බලලා හිස එහාට මෙහාට කළේ අමුතු දුකකින්. පරම්පරාවෙන් ආ නමක් තියෙන මට පරම්පරාවක් නෑ.

“හෝව් පොඩ්ඩක්…”

මම පස්සා සාක්කුවෙන් ඇදලා ගත්තා මගෙ දිනපොත. ඒකේ තමා මගෙ යාළුවන්ගෙ නෑදෑයන්ගෙ ඇඩ්රස් ලියලා තියෙන්නේ. ගෙදර ටෙලිෆෝන් තියෙන අයගෙ නොම්බරත් ඒකේ. නීලා බලාගෙන හිටියේ තවත් කලකිරීමකට ලෑස්තියෙන් වගේ.

දිනපොත එලියට ගත්ත වෙලාවෙම මට දැනුනා ඒකේ ලොකු වෙනසක්. කවරේ ‘සිතුමිණ’ කියලා කැටයම් අකුරෙන් ලියවිලා තිබුනෙ නෑ. ඒ වෙනුවට බ්රිස්බන් කොම්පැනියක නමක් ඉංග්රීසියෙන් ලියවිලා තිබුනා. පොත ඇරලා බලන්නවත් මට ආශාවක් ඇතිවුනේ නෑ. මගෙ ලංකාවේ නෑදෑ හිතමිතුරෝ ඒකේ නැතිබව මට පැහැදිලියි. අනික් අතට මට කුතුහලයක් ඇතිවුනා ඇත්තටම ඒකේ මොනවා ලියවී ඇතිද කියලා.

“ලංකාවේ ඇඩ්රස් නැත්තම් තියෙන්නේ මොනවද කියලා බලමු”

අපි දෙන්නම පොත් පිංච පිටුවෙන් පිටුව කියෙව්වා. ඉස්සරවෙලාම කතාකළේ නීලා.

“මේ ඔක්කම මෙහෙ යුනිවසිටි කට්ටියද?”

“හ්ම්… ඔවු… හැබැයි පීටර් ග්රීන් වගේ හොඳම යාළුවෝ නෑ! ඉන්න පොඩ්ඩක් - සිරිල් ඩයස් ඉන්නවද බලමු; මිනිහා මෙල්බන් යාළුවෙක්… සොරි - මිනිහත් නෑ! ඒ කියන්නේ… මම ලංකාවේ කියලා දන්න කිසිම කෙනෙක් මෙතන නෑ!”

මම පොත ආපහු සාක්කුවේ දාගත්තා. විනාඩි කීපයක් සද්ද නැතුව අපි දෙන්නා අපේම සිතිවිලිවල ගිලී හිටියා. ලංකාව ‘නැති වීම’ මූළික ප්රශ්නය වුනත් ඒ ගැන සොයා බලන්න ඉස්සර කුඩා පර්ශ්න දාහක් විසඳා ගන්න වෙනවා; නවතින්නේ කොහෙද, කෑම බීම ගැන මොකද කරන්නේ, රස්සාවක් සොයාගනේ කොහොමද, මට යාළුවෝ ඉන්නවද වැනි ප්රශ්න සිහියට නැගුනා. නමුත් “මම කවුද” යන ප්රශ්නය ඉදිරියටම ආවා.

නීලා දිහා බලනකොට මගෙ ඇස් වලටත් කඳුලක් ආවා.

“නීලා… අපි දෙන්නා ඉඳලා හිටලා හම්බවුනේ… හෙටින් පස්සේ හමු නොවෙන තරමට හිටියේ… නමුත් දැනට ලංකාවේ කෙනෙක් හැටියට මම දන්නේ ඔයා විතරයි… මට උදව්වක් දෙනවද මම කවුද කියලා හඳුනාගන්න? ඒක මෝඩ ප්රශ්නයක් වෙන්න ඇති… නමුත් අවට ලෝකේ දියවෙලා යන වෙලාවේ මම කියලා කෙනෙක් මෙතන ඉන්නවද කියලා දැනගන්න මට ඕන…”

මම හිතපු විදිහට නීලා හිනාවෙලා මගෙ අදහස ගොන් කතාවක් හැටියට ඉවත දැම්මෙ නෑ.

“ඒකේ ඇත්තක් තියෙනවා ලලිත්… ඉන්න තැන නොදැන යන්න ඕන කොහාටද කියලා දැනගෙන වැඩක් නෑ. ඒ මනෝ විද්යාව මගෙ. නමුත් අපි දෙන්නම, අපිට තේරෙන/මතක විදිහට කවුද කියලා බලමු… මම කියන්නම් මා ගැන…”

නීලා ටිකක් හිතුවා.

“මම ඉගෙන ගන්නේ මනෝ විද්යාව; තව අවුරුදු දෙකක් යයි උසස් උපාදියක් ලබාගන්න. මෙහාට ඇවිත් අවුරුද්දක් වෙනවා. ගම කළුතර. ඉගෙන ගත්තේ කළුතර බාලිකා එකෙයි කොළඹ විශ්වවිද්යාලෙයි. තාත්තා රිචඩ් පීරිස් සමාගමේ වැඩකරන්නේ. අම්මා ගුරුවරියක්. මල්ලී තවම ඉස්කෝලේ යනවා… මගෙ වයස 26යි; බැඳලා නෑ; ළමයි නෑ; අම්මයි මමයි බෞද්ධ; තාත්තයි මල්ලියි මොන ආගමේද මන්දා. තාත්තගෙ පවුලේ අය කතෝලික… ඒ ඇති නේද?”

“තැන්ක්යූ… මම… මම 29යි, ළමයි නෑ; බැඳලා නෑ. ගම ගලගෙදර, නුවරට කිලෝමීටර් විස්සයි. ඉස්කෝලේ ගියේ නුවර, සයන්ස් ඉගෙන ගත්තේ පේරාදෙනියේ… අප්පච්චී නැතිවෙලා හුඟක් කල්; අම්මා තමා අපි බලාගත්තේ… අම්ම නර්ස් කෙනෙක්; හරියට මහන්සියෙන් වැඩ කරනවා. අපි ඉගෙනගත්තේ අම්මගෙ වීරියෙන්; මම මෙහෙ එව්වේ ඉඩමක් විකුනලා. නංගී ප්රාතමික ගුරු පුහුණුව ලබලා ඉන්නේ; තවම පත්වීමක් නෑ. මල්ලී කටුබැද්ද ටෙක් එකේ… මගෙ සම්පූර්ණ නම ලලිත්කුමාර මීගස්තැන්න”

“තැන්ක්යූ… මම නීලා උපමල්ලිකා ප්රනාන්දු”

අපි අයෙත් විනාඩියක් සද්ද නැතුව හිටියා. මම කල්පනා කළේ පළමුව ගුවන් බලපත්ර ගැන සංචාරක නියෝජිතයන්ගෙන් අසා දැනගන්නයි. ඒ අය දන්නවා රටක් ඇති නැති බව. මම මේ අදහස නීලට ඉදිරිපත් කළා.

“ට්රැවල් ඒජන්ට්ලගෙන් දැනගන්න පුළුවන් මම ගිය සඳුදා ටිකට් එකක් බුක් කරාද කියලා… ඔයාට පුළුවන් අළුත් ක්ලයන්ට් කෙනෙක් වගේ ප්රශ්න අහන්න… කැමතිනම්…”

නීලා නැගිට්ටා.

“මොකටද බලාගෙන ඉන්නේ එහෙනම්!”

……………………………….

“සර් කවද්ද ටිකට් එක බුක් කරේ?”

මම ඒජන්ට් නෝනට මගේ නම එහෙම දීලා මගෙ ගුවන් බලපත්රය ගැන ඇහුවේ.

“ගිය සඳුදා… මට කතාකළේ ශෙලී කියලා කෙනෙක්”

ගෑනී මා දිහා බැලුවේ අමුතු විදිහකට.

“සර්මද ආවේ? නැත්තම් වෙන කවුරුවත්ද සර් වෙනුවෙන් ටිකට් බුක් කරන්න ආවේ?”

“මම තමා ආවේ… උදේ එකොලහට විතර…”

“සොරි සර්… සර්ගෙ නමෙන් ටිකට් එකක් ලියවිලා නෑ… අනික… මෙතන ශෙලී කියලා කෙනෙක් වැඩ කරන්නෙ නෑ… සර් මෙතනින්ද බුක් කරේ නැත්නම් ශොපිං සෙන්ටර් එකේ අපෙ ඔෆිස් එකෙන්ද?”

නීලටයි මටයි තේරෙනවා වැඩේ කෙලවෙලා ඉවරයි කියලා. වහාම නීලා එයාගෙ කතාව පටන්ගත්තා.

“මෙයා කියන ඒවා ගනං ගන්න එපා - ලලිත් මෙහෙ එන්නත් නැතුව ඇති! සොරි! නමුත් මට ප්රශ්නයක් තියෙනවා…”

ඒජන්ත ගෑනී මා දිහා බැළුවා. මම ඔළුව නමලා අවසර දුන්නා නීලගෙ ප්රශ්නෙට උත්තර දෙන්න.

“මොකද්ද ප්රශ්නේ මිස්?”

නීලා දිග කතාවක් ගෙතුවා මදුරාසියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවත් මදුරාසියෙන් පිටත්වෙන ඒ කිට්ටු රටවලට ඇති ගුවන් සේවා ගැනත් අසා. අළුත් ක්ලයන්ට් කෙනෙක් ලෙස නීලා දුටු ඒජන්ත ලොකු සිතියමක් මේසේ මත දිගහැරියා. ඒකෙත් ලංකාවක් නෑ!

නීලට මතක්වුනා අහන්න ඕන ප්රශ්නේ.

“මේ සිතියම කොච්චර පරණද?”

“අවුරුදු දෙකකට වැඩිය නෑ! අළුත් සේවා එන එන විදිහට අළුත් සිතියම් එන්නේ…. මේ පැන්සලෙන් ඇඳලා තියෙන ඉර අළුත් එකක් -මාස හයක් විතර”

අපි ගෑනිට නොසෑහෙන්න ස්තුති කරලා නැවතත් ආපන ශාලාවට ආවා. මම කෝපි දෙකකුත් පොඩි කේක් කෑලි දෙකකුත් ගත්තා.

“ඒ ගෑනී කියන විදිහට මීට අවුරුදු දෙකකට ඉස්සරත් ලංකාව සිතියම්වල නෑ… මම ආවේ ගිය අවුරුද්දේ…”

අපි මෙතන සිද්ධවී ඇති දේ ගැන තනි තනියෙන් හිතුවා, කෝපි බොමින්.

ට්රැවල් ඒජන්ට් ගෑනී හමුවෙන්න ඉස්සර මම හිතාගෙන හිටියේ සරසවි පුස්තකාලෙට ගිහින් එක එක කාලපරිච්ඡේද වල ඉතිහාසය පිරික්සා බලන්නයි. මගේ බලාපොරොත්තුව ඉංග්රීසි, පෘතුගීසි, ලංදේසි අධිරාජ්ය වල ලංකාව ගැන සඳහන් වී ඇතිදැයි බලන්නයි. ඒ වගේම මහාවම්ස වැනි ඉතිහාසයක් ගැන කොහේ හෝ සඳහන් වී ඇත්නම් ඒ අනුව මින් පසු කළයුත්තේ කුමක්ද කියා යම් තීරණයක් ගන්නයි. නමුත් සිතියම් වලින් ඔප්පුවුනේ නීලා දවස් කිහිපයකට පෙර කතා කළ, අවුරුද්දකට පෙර ජීවත්වුන, ලංකාව දැන් අපිට ඇසට පෙනෙන ලෝකයේ ඉතිහාසයට අයිති තැනක් නොවන බවයි.

ඒ අනුව, මගේ මිත්ර පීටර් ග්රීන්, නීලාගේ මිත්ර සනත් හිටපු විදිහට මේ ලෝකේ නෑ. සනත් එහෙම ඇත්තෙම නැතිවෙන්න පුළුවන්. නමුත් සනත්ගෙයි නීලගෙයි වෙනස මොකද්ද? ඇයි එක් කෙනෙක් නැත්තේ, වෙන කෙනෙක් ඉන්නවානම්?

මම මේදේ හිතුවේ දිනපොතේ කුරුටුගාමින්. එය මට හැඟුනේ නීලා ඒ දෙස බලා සිටිනවා දුටු විටයි.

“සොරි… අනික් අය කරන දේ බලාගෙන ඉන්න එක නරක පුරුද්දක්. ඔය කුරුටුගාන හැඩ වලින් අපිට පුළුවන්ලු එක එක නිගමන ගන්න. මනෝ විද්යාව මොනවා කිව්වත් මම හිතන්නේ අපි ඒවට ඕනවට වැඩි අගයක් දෙනවා කියලා… අනික් අතට ලලිත්ගෙ හිත එහෙ මෙහෙ දුවන බව මට සහතිකයි!”

“ඇත්ත තමා නීලා… මං හිතාගෙන හිටියේ ලයිබ්රරි රිසර්ච් පොඩ්ඩක් කරන්න, ලංකාව ගැන. නමුත් ට්රැවල් ඒජන්ට්ගෙ සිතියම දැක්කට පස්සේ ඒ අදහස අතෑරියා. අපි මේ ඉන්න ලෝකේ ලංකාවක් කවදාවත් තිබිලා නෑ!”

“මාත් හිතුවේ එහෙමයි… හැබැයි ඊලඟට මොකද අපි කරන්නේ?”

මම ටිකක් හිතුවා නීලගෙ හිතට වදදෙන මාතෘකාවක් එලියට ඇද ගන්නේ කොහොමද කියලා - සනත් ගැන. නමුත් ප්රශ්නේ නොඅසා බෑ.

“නීලා… මේක ඔයාට වැදගත්; සමහරවිට වේදනා සහගතයි.… “

“කම් ඕන් ලලිත් - මොකද්ද වේදනා නැති දේ දැන්?”

“රයිට්… දැන් නීලා ජීවතුන් අතර ඉන්නවා. තමා කවුද කියලා දන්නවා; ඉතිහාසය මතකයි. නමුත් සනත් නෑ… සොරි… සනත්ගෙයි ඔයාගෙයි වෙනස මොකද්ද එක් කෙනෙක් ඉන්නයි අනික් එක්කෙනා නැතිවෙන්නයි?”

ඒ සැරේ කෙල්ල හොඳටම නිශ්ශබ්දයි. ඇඟිල්ලෙන් මේසේ රටා අදිනවා. මම ඒ දිහා බලාගෙන ඉන්න බව දැකලා ඈ වහාම අත උඩට ගත්තා. කතාකළේ හෙමින්.

“සනතුත් කළුතර. පොඩි කාලේ ඉඳන් අපි හඳුනනවා… එයා බ්රිස්බන් ආවේ අවුරුදු දෙකකට විතර ඉස්සර. එයා තමා මට මගෙ ෆ්ලැට් එක සොයලා දුන්නේ… සනත් ඉන්න… හිටපු… බ්ලොක් එකේමයි. කාමඩි පාරේ. එයා ඉංග්රීසි සාහිත්ය කරන්නේ. මං අංතිමට දැක්කේ දවස් පහකට විතර ඉස්සර මේ කැන්ටිමේ… පාස්පෝට් නැති බව දැනගත්තහම මම ඉස්සර වෙලාම ගියේ සනත්ගෙ ෆ්ලැට් එකට, මොකද කරන්න ඕන කියලා අහන්න… මං කිව්ව වගේ, එතන වෙන මනුස්සයෙක්, මම කවදාවත් දැකලා නැති…”

“සොරි නීලා… මං හිතුවේ සනත් ඔයාගෙ බෝයි ෆ්රෙන්ඩ් කියලා”

“ඇයි? එහෙම එකක් නෑ. හොඳ ළමයා හැබැයි”

“කවුද සනත්ගෙ අනික් යාළුවා? සරත්ද කොහෙද?”

“සෙනරත්. එයා ගිය සතියේ ආපහු ලංකාවට…”

වාක්ය ඉවරවුනේ දිග සුසුමකින්. අපේ සාකච්චාව මොහොතකට නැවතුනා. මම ආයෙත් සටහනක් ලියන්න පටන්ගත්තා. නීලා මේසෙන් නැගිටලා තව කෝපි ගෙනෙන්න ගියා.

………………………..

“මේකයි තත්වේ, මට පෙනෙන විදිහට… අපි ආවේ ලංකාවෙන්. ඒක ඇත්ත කියලා අපි දන්නවා, අපෙ පවුලේ විස්තරත් එක්ක. අපි විතරක් නෙවෙයි ලංකාවෙන් ආවේ. සනත් කොහෙ ගියාද අපි තවම දන්නෙ නෑ. සෙනරත් ගියේ කොහෙද කියලා දන්නෙත් නෑ. මගෙ මෙල්බන් යාළුවත් මගෙ පොතේ නෑ - ඒ කියන්නේ එයත් සනත් වගේ කොහෙ හරි ගිහින්, නැත්නම් සෙනරත් වගේ ‘ලංකාවට’ ගිහින්, ඒත් නැත්නම් මිනිහා ලංකාවෙන් මෙහාට ආවෙම නැද්ද දන්නෙ නෑ - මේ ලෝකේ… ආයෙ පීටර් ග්රීන් කොහෙද ඉන්නේ? මිනිහා මාව හඳුනනවද? මට ඇත්තටම උපාදියක් ලැබුනද?... මං දන්නෙ නෑ නීලා - ප්රශ්න සීයයි; උත්තර නෑ”

නීලගෙ මුහුණ බැරෑරුම්.

“අඩුම ගනනේ ලලිත්ගෙ මොලේ ආයෙත් වැඩකරනවා. වෙරි ගුඩ්. මම හිතුවේ අපි දන්න සේරම ලංකාවේ කට්ටිය ගැන සොයලා බලමු කියලා. පළවෙනියට එහෙම අය තව ඉන්නවද නැද්ද කියලා සොයාගමු. ඒ කියන්නේ අපි දෙන්නා වගේ අය. එතකොට සමහරවිට හේතුව සොයාගන්න පුළුවන් වෙයි ඇයි අපි තවම ජීවතුන් අතර ඉන්නේ කියලා, අනික් අය නැතිකොට”

“කොහොමද ඒක කරන්නේ?”

“මම හිතුවේ පොඩි දැන්වීමක් දාන්න මෙහෙ දැන්වීම් පුවරුවල. අනික් සරසවි වලටත් යවනවා”

“මොනවද ලියන්නේ? – ‘ලංකාව’ කියලා දැනට නැති රටකින් ආපු අය කරුණාකරලා මාව කොන්ටැක්ට් කරන්න - කියලා දාන්න බෑ - උන් හිනාවෙයි. දැන්වීම් පුවරුවල නොදා ඉඳියි!”

“ඔවු… එහෙම මෝඩ විදිහට ලිව්වොත්! කොහොමද - ‘ශ්රී ලංකා නැමති නාට්ය නැවතත් නිපදවන්න උත්සාහ කරනවා - ඒ නම දන්න කෙනෙක් මාව කොන්ටැක්ට් කරන්න’ - ඒක වැඩ් කරයිද?”

“නියමයි! ඒ ජොබ් එක නීලට! මම සොයල බලනවා ලාංකික නොවෙන අය ගැන; උදාහරණය, මගෙ යාළුවොයි, ෆැකල්ටි අයයි. උන් එක්කෝ මාව හඳුනන්නෙත් නැතිවෙයි, නැත්නම් යන්තම් හරි ලංකාව කියලා තැනක් ගැන අහලා තියෙයි”

ආයෙත් දෙන්නම ටිකක් කල්පනා කළා.

“මේවා කරන්න සෑහෙන කාලයක් යයි නේද?”

“ඒකනම් ඇත්ත තමා. මම හෙට නේවාසිකාගාරෙන් යන්න ඕන. ඒ කියන්නේ අළුත් ඉන්න තැනක්. ඒ වගේම රස්සාවක් සොයාගන්නත් ඕන. වැඩේ තියෙන්නේ මෙහෙ වීසා එකක් නැතුව හොඳ රස්සා ගන්න බෑ… පාර අතුගාන්න තමා වෙන්නේ…”

ඒක කිවූ වහාම මට ලොකු දුකක් ඇතිවුනා. මම මැසිවිලි කියන්නේ හොඳ රස්සාවක් නෑ කියලා. අපෙ අම්මා, නංගී මල්ලී එහෙම තවම ඉන්නවද නැද්ද කියලා දන්නෙවත් නෑ. ඒ අයට ජීවිතේකුත් නෑ, රටකුත් නෑ. මට මොක නැතිවුනත් ජීවිතේ තියෙනවා; ඉන්න රටක් තියෙනවා.

“සොරි… මම අඬනවා - මට වැඩිය කරදර තියෙන අය කොච්චර ඉන්නවද?”

“ගණන් ගන්න එපා! අතේ සල්ලි තියෙනවද, කන්න බොන්න?”

“ඒ අතින් තවම රිම් එකෙන් දුවන්නෙ නෑ… නමුත් රස්සාවක් ඕනමයි. කොච්චර කාලයක් මෙහෙ ඉන්න වෙයිද දන්නෙ නෑ! ඊටත් වැඩිය නිදාගන්න තැනක් සොයාගන්න ඕන හෙට ඉඳන්”

“මම බලන්නම් අපෙ බ්ලොක් එකේ තව ෆ්ලැට් තියෙනවද කියලා. සමහරවිට ඇති. ෆයිනල් ඉවරකරලා හුඟක් අය ගෙදර ගිහින් ඇති”

“තැන්ක්යූ… එහෙම තිබුනොත් හොඳයි අපෙ රිසර්ච් වලටත්!”

ආයෙත් පොඩි නිහඬතාවක්. මම මගේ හිතේ තිබුන තව අදහසක් එලියට දැම්මා.

“මම කිව්ව නේද ඊයේ රෑ පාටියකට ගිහින් අද පාන්දර තුනට කාමරේට ආවේ කියලා. ඒ පාටියේදී කවුරුත් මට මොකක් හරි ඩ්රග් එකක් දුන්නද දන්නෙ නෑ. නමුත් එහෙමයි කියලා මම හිතන්නෙ නෑ මගෙ ඇඟට එහෙම කිසි අමාරුවක් නැති නිසා. අනික් අතට ඒක සම්පූර්ණෙන්ම අතහරින්න බෑ”

“ඩ්රග්ස් මෙච්චර කල් වැඩ කරයිද? සමහරවිට අළුත්ම එකක්ද දන්නෙ නෑ!”

“මම ඔය ඩ්රග් කතාව කිව්වේ තව හේතුවක් නිසා… කාමරේට තුනට ඇවිත් නමය විතර වෙනතුරු නිදාගත් නිසා ලෝකේ මොනවා වුනාද කියලා මට මතකයක් නෑ. නමුත් ඒ අතරතුරේ අපෙ ලෝකේ සංක්රමණයක් සිද්ධවුනා; ලංකාවක් ඇති සහ නැති ලෝක අතර… නීලට මතකද එහෙම මොනවත් අමුතු දෙයක්?”

“මොන වගේ අමුතු දෙයක්ද?”

“දන්නෙ නෑ! ... ඉස්සරවෙලාම කීයට විතරද පාස්පෝට් නැතිබව දැනගත්තේ?”

“හය හමාරට. අර සෙමිනා එකකට ලෑස්ති වෙන්න මම මගෙ පබ්ලිකේශන් එහෙම තියෙන පෙට්ටිය ඇරියේ හරියට හය හමාරට. ඒකේ තමා මගෙ වැදගත් ලියකියවිලි ඔක්කොම… ඒ කියන්නේ හයයි හතලිස් පහට විතර තමා පාස්පෝට් නැතිබව දැනගත්තේ”

“රයිට්! ඒ කියන්නේ පාන්දර තුනටත් හය හමාරටත් අතර මොකද්දෝ කෙලියක් වුනා! මතක නැද්ද කිසිම දෙයක්? වෙනසක්? භූමිකම්පාවක්? ලයිට් යනවා?”

“සොරි ලලිත්… මට හිතලා බලන්න වෙලා ඕන… මම හෙට කියන්නම් මොකවත් මතක්වුනොත්…”

“රයිට්! ෆ්ලැට් එකත් බලනවද? … මට ඇත්තටම සන්තෝසයි අපි දෙන්නා එක ටීම් එකේ ඉන්න එක. අඩුම ගානේ මට සම්පූර්ණෙන්ම පිස්සු නෑ කියලා මට හිතෙන්නේ”

“හෙට එහෙනම්… මෙතනම දහයට විතර?

“ඔවු - ටටා!”